Grab this

Thursday, March 10, 2011

දිවිමංතලාවේ මා පරදවාලන්න නුඹ කිමද මට පෙම් කලේ..... - ගීත විචාරය

සමුගන්න මොහොතකට පෙර එක් වතාවක් 
හිනැහෙන්න පෙරදා වගේ.. 
මුමුණන්න වදනක් පෙර සේම ලංවී 
මියඇදෙන මතකය වගේ...  

තුරු සෙවනෙ මල් අතරෙ වැලපෙන කථාවක්.. 
මද සුලගෙ පාවී ගියේ.. 
සුසුමකට ලං වෙන්න කදුලට රිදුම් දෙන්න 
ඇයි ආදරෙන් හමුවුනේ.. 
ඇයි ආදරෙන් හමුවුනේ...

සමුගන්න මොහොතකට පෙර එක් වතාවක් 
හිනැහෙන්න පෙරදා වගේ.. 
මුමුණන්න වදනක් පෙර සේම ලංවී 
මියඇදෙන මතකය වගේ... 

අවසන්ව යන මතක හද වේදනාවෙන්ම 
සතපන්න ලය මත මගේ.. 
දිවි මං තලාවේ මා පරදවාලන්න.. 
ඔබ කිමද මට පෙම් කලේ....


න්දුල විජේවීර ශිල්පියා විසින් ගායනා කරන ගීත තුලින් ඔහු ඔහුගේම අන්‍යතාවයක් ගොඩනගාගෙන ඇත. ඔහුගේ කටහඩ තුල අව්‍යාජව පවත්නා ගැමිත්වය, පිරිමිකම නිසාම ඔහුගේ කටහඩ ලාංකීය සංගීතයේ සුරම්‍ය ප්‍රතිරූපයක් ලබාගෙන ඇත. ඔහුගේ සුන්දර ස්වරය සමග විරහවක හැගුම් එක්තැන් කරමින් ඔහු ගායන කරන මෙම ගීතය මා රස විදි අපේ සුන්දර ගීත අතර ඉහලම ස්ථානයක ඇත. මෙහි පදරචනය කල ශිල්පියා මම තවම දන්නේ නැත. නමුත් ඒ ගේය පද රචකයාගේ විලාසයන් මා හොදින් හදුනාගෙන ඇත. මන්ද මේ ගීතය රස විදි අවස්ථාවේ පටන් ඒ රසය තුලින් මා තුල ඇතිකල ආනන්දය...., කම්පනය අදටත් නොනැසී පවත්නා නිසාවෙනි. ගේය පද රචකයාගේ සිත තුල ඇතිවූ විරහව පිලිබද සිතුවිල්ල රසිකයාගේ සිත් තුලට ඉතාම සුන්දර ලෙස ඇතුල් කිරීමට ඔහු කටයුතු කොට ඇත. බන්දුල විජේවීරයන්ද ඔහුගේ අව්‍යාජ සුන්දර වාචික රිද්මයන් එලෙසම පවත්වා ගනිමින් රස මතුකොට දක්වමින් ගීතය ගායනා කිරීමෙන් රසිකයා පිනවීමට සමත්ව ඇත. 

ආදරය යනු ලොව තුල අනේක විදි සුන්දරත්වයන් මතු කරනා එක්තරා හැගීමක් ලෙස මා දකිමි. සෑම විටම සමාජයේ සෑම පාර්ශවයක්ම ආදරය නැමැති සුන්දරත්වයේ ප්‍රත්‍රිමූර්තිය සමග ගැටෙයි. එකී විවිධ අවස්තාවල ආදරය ගන්නා හැඩතල වෙනස් වේ. එම කාලානුරූපී වෙනස නිසාම කලාකරුවෙකුට "ආදරය" සෑම විටම සුන්දර මාතෘකාවකි. මා මෙහිදී සදහන් කල සේ ආදරය එක් එක් අවස්ථාවේ විවිද හැඩතල ගනී. එමගින් ආදරයේ වරප්‍රසාද ලාභීන් දුක සතුට උරුම කර ගැනීම තීරනය වේ, විරහව යනු .. ආදරයේ තවත් එක් සුන්දර හැසයක් ලෙස මා දකිමි. විරහව තුල ඇති වේදනාව, දුක කලාකරුවාට ආභරණයක් වෙයි.මන්ද මිනිසාගේ මනෝභාවයන් තුලට ආනදනීය හැගීම් එක්කරමින් කාලාව තුලින් මිනිසාගේ මනෝ ප්‍රතිභාව සංවර්ධනය කිරීමට වෙහෙසෙන කලාකරුවාට විරහව තුල සැගවී කතාකරන්නට මාතෘකා එමට තිබේ. මේ අනුව විරහව කාලාකරුවාට සැබැවින්ම නිර්මාණකරනයේදී ආභරණයක් වෙයි. මේ ගීත රචකයාත් ඉහත කී විරහව, දුක, වේදනාව, මේ සියල්ලම ඉතාම සියුම්ව නමුත් සුන්දරව රසිකයාට ඉදිරිපත් කොට ඇත. ඉතාම සරල වචන වලින් ගීතය නිර්මාණය වීම තුල රසිකයාගේ සිතට ඉක්මනින් රචකයා ඉදිරිපත් කරන කම්පනය ඇතිවෙන බව මගේ හැගීමයි.

සමුගන්න මොහොතකට පෙර එක් වතාවක් 
හිනැහෙන්න පෙරදා වගේ.. 
මුමුණන්න වදනක් පෙර සේම ලංවී 
මියඇදෙන මතකය වගේ... 

ගීතයේ මුල් පද පේලිය තුල සාම්ප්‍රදායික ඉල්ලීමක් ගැබ්වී තිබේ. තමන්ගෙන් වෙන්වී යන වෙම්වතිය වෙත ඔහුගේ අවසන් ඉල්ලීම වශයෙන් ඉදිරිපත් කරන්නේ අහින්සක ඉල්ලීමකි. මේ පද පෙල තුල රචකයා සමාජයේ   යථාර්තයක් ඉදිරිපත් කොට ඇත. ලෝකයේ ඕනෑම ප්‍රියයන් දෙදෙනෙක් වෙන් වෙන්නට පෙර තව එක් මිනිත්තුවක් හෝ එකට ඉන්නට වරප්‍රසාද අයදීම සාමන්‍ය කරුණකි. මේ සමාජ සිරිතට ගරුකරමින් රචකයා ඔහු විසින් නිමාණය කරන විරහවේදනාවෙන් පෙලෙන පෙම්වතාටත් අන් සෑම පෙම්වතෙකුගේම ප්‍රාර්ථනාව ලබාදෙන්නේ ඉතාම සුන්දර අයුරෙනි.

තුරු සෙවනෙ මල් අතරෙ වැලපෙන කථාවක්.. 
මද සුලගෙ පාවී ගියේ.. 
සුසුමකට ලං වෙන්න කදුලට රිදුම් දෙන්න 
ඇයි ආදරෙන් හමුවුනේ.. 
ඇයි ආදරෙන් හමුවුනේ...

එකී පෙම්වතා මේ සිතුවිලි පරිසරය ආශ්‍රිත තැනක සිට අදහස් ප්‍රකාශ කරන බව මින් ඇගවේ. තුරු සෙවනක සිට තනිවී වැලපෙමින් ලොවට හොරා තම වෙදනාව පවසන පෙම්වතා ලෝකයට ඒ සුසුම් දෙන්නට අකමැති බව මින් ඇගවේ. එය පිරිමි ස්භාවයයි. ගැහැණියක වේදනාව දුරුකරගැන්මට තම කදුලු ලොවට පෙන්නුවත්... පිරිමි පෙම්වතා ලොවට හොරෙන් තුරු සෙවනකට වී වැලපෙන්නෙ තම වැලපීම ලොවින් වසන් කරන්නයයි. අන්තිම පද කීපය තුල ඉතාම සංවේදී අයුරින් ඔහු තමන් වෙතින් ඈතට ගිය පෙම්වතිය වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කරයි. සුසුම් කදුලැල් පෙම්ව්වතුන් ගේ ලෝකයේ අප්‍රියම වස්තූන් වේ නම්. ආදරය කලේ අවසන ඒ අප්‍රිය හැගීම් වලින් මා පුරවන්නදැයි පෙම්වතා ප්‍රශණ කරයි. ඉතාම සංවේදී පද පෙලකි.

අවසන්ව යන මතක හද වේදනාවෙන්ම 
සතපන්න ලය මත මගේ.. 
දිවි මං තලාවේ මා පරදවාලන්න.. 
ඔබ කිමද මට පෙම් කලේ....

අවසන් කොටස තුලදීත් පෙම්වතාගේ සිත ඔහුගෙන් නිරන්තර නගන පැනයක් ඔහු හැගීම් සමග මුසු කොට ප්‍රකාශ කරයි. දහසකුත් පැතුම් සමග ආදරලෝකයක් ගොඩනැගූ පෙම්වතා පරාජිතයෙකු කොට ජීවිතයේ එක්තරා අවස්ථාවක පාලා යන්නට නම් පෙරදී මහමෙරක් ආදරය කලේ ඇයිද? යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි. මේ අයුරින් ඉතාම සංවේදී ලෙස මේ ගීතය නිර්මානය වී ඇත.



පාඨකයිනි සිංහල ස්භාවිත ගීතයේ රස මුසු තැන් එමටයි. ලෝකෙයේ මිනිසුන්ගේ සිතුවිලි පරම්පරාවන් මොට කිරීමට, මිනිසුන් නොමිනිසුන් කිරීමට ලෝකයේ නිර්මාණය වූ ඉංගිරීසි සංගීතක්‍රම වලට ගැති නොවී අපේ දේශීය ගීතය රසවිදින ඔබට හැකි පමණ මෙවෙන් විචාර ලබා දීම මගේ අරමුණවේ. අපේ සිංහලකම අපේ ලාංකික බව මේ සියල්ල අපේ ගීතයේ ඇත.අපේ සිත් ආනන්දයෙන් ප්‍රඟාවට ලගාකරමින් අපේ රස තැන් කුල්මත් කරමින්. හදවත සනසන අපේ ගීතය ලංකාව පවතින තුරු රැකගැනීම අපේ යුතුකම වේ... අපේ හැගීම් සමීප අපේ ගීතයට මිස ඔය කියන පොප් හිපි, ආර් ඇන් බී, වැනි සර්කස් නැටුම් හා පිස්සු ඉරියවු සහිත පොස් ගීත යයි කියාගන්නා සම්ප්‍රප්ප්‍රලාප වලට නොවේ. මම එක උදාහරනයක් කියන්නම් අවසානයේ 

මේ ලගක් වෙනක්ල යුද්දෙ තිබ්බා... ඒ කාලේ දේශාභිමානී ගීත රණවිරුගීත වලට හොද කලදසාවක් ගියා හොදයි අපි කවුරුත් දන්නවා අපේ රණ විරුවන් ගැන සුනිල් එදිරිසිංහ මහත්තය කියන "රන් මලක් ලෙස " ගීතය ඒත් එක්කම. ඒත් එක්කම ඉස්සර අපි උදේම ඇහැරිනකොට ගුවන් විදුලියෙ ගිය "ලංකා ලංකා පෙම්බර ලංකා... දිනවමූ ඔබ ලංකා...." වැනි විශිෂ්ඨ ගීත. ඒ ගීත අහනකොට අපේ මුලු ඇගම සලිත උනා. අපේ රට ගැන ආදරෙන් හිත පිරුනා.. කොටින්ම ඇගේ මයිල් කෙලින් උනා.. එක තමයි වෙනස. හොදයි දැන් හිතල බලන්න කෙල්ලො ටිකක් වට කොරන් කොඩි වන වනා අත පය දික්කොර කොර අපේ ඉංග්‍රීසි පන්නෙ ගීත කියන මහත්තුරු කියපු දේශාභිමානී ගීත වලින් ඇති උන හැගීම. මයිල් කෙලින් වීම කෙසේ වෙතත් කෙල්ලො ටික දැක්ක සමහරුන්ගෙ වෙන මොකද්දෝ කෙලින් වෙලා තිබ්බලු. අපි ලාංකිකයො මිනිසුනේ.. අපේ ලාංකික කම තමයි අපේ සම්පත.